Posted by: kankuna | දෙසැම්බර් 26, 2009

ගිය හකුර සහ පූජා කරන්න හදන හකුර….

ද දෙසැම්බර් 26 වැනිදා. මීට වසර 5 කට පළමුව අද වගේ දවසක අපේ රටට සුනාමියක් කඩා වැදුනා. රටේ මුහුදුබඩ පළාත් වලට සිදුවුණ ව්‍යසනය අති මහත්. දේපළ හානිය මුදලින් තක්සේරු කළ හැකි වුනත්, ජීවිත වලට, පවුල් වලට, අපේ ජීවන රටාවට සිදු වුණ හානිය තක්සේරු කරන්නේ කොහොමද?

සුනාමියෙන් මතු වුණු පෞද්ගලික ඛේදවාචක අනන්තයි, අප්‍රමාණයි. කන්කුණා සෞඛ්‍ය සේවයේ නිසා නොයෙක් විදියේ දුක්මුසු කතා අහන්න දකින්න ලැබුනා. සුනාමියෙන් දිවි ගලවාගත් කීයෙන් කී දෙනාද ඒ ගැන සතුටු වුණේ? බොහෝ දෙනෙක් හිතුවේ අනේ අපිත් මැරුණා නම් මීට වඩා හොඳයි කියලා තමයි. නමුත් අපේ සංස්කෘතියේ බැඳිලා තියෙන අනිත්‍යය කියන සංකල්පය නිසාද කොහෙද ඒ අයගෙන් අති මහත් බහුතරයට අද යලිත් ප්‍රකෘති තත්වයට පත් වෙන්න හැකි වෙලා තියෙනවා.

නමුත් මම කියන්න සූදානම් වුනේ රටක් හැටියට අපිට කොහොමද සුනාමිය බලපෑවේ කියලා. දේපළ හානි වුනා. අපනයන ඇනහිටියා. අති විශාල සුබසාධන වැඩ පිළිවෙලක් නඩත්තු කරන්න සිදු වුනා. ඒ ඔක්කොම ඇත්ත. නමුත් ඒ එක්කම රටට ගොඩ එන්න හොඳ අවස්ථාවකුත් ලැබුනා. උදාහරණ කිහිපයක් ගනිමු. රටට ආධාර විදියට විදේශ විනිමය ගලා එන්න පටන් ගත්තා. වෙරළ අසල, මාර්ග අසල, ඉවත් කළ යුතුව තිබූ ඉදි කිරීම් කැඩී බිඳී ගියා. වෙරළ රක්ෂිතයක් ඇතිකරන්න, මාර්ග පුළුල් කරන්න, දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රය දියුණු කරන්න අවස්ථාව ලැබුණා. ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයට මිනිසුන් යොමුකරන්න හැකියාවක් ඇති වුණා. LTTE සංවිධානයේ යුද ශක්තිය බරපතල ලෙස විනාශ වෙලා සුළු ප්‍රයත්නයකින් ඔවුන්ව පැරදවිමට අවස්ථාවක් නිර්මාණය වුනා. බදු රහිතව යුරෝපයට භාණ්ඩ අපනයනයට අවස්ථාව ලැබුණා. මිනිසුන්ගේ ආත්මාර්ථකාමී ගති මැඬගෙන බෝසත් ගුණ ඉස්මතු වුණා. රටක් දියුණු කිරීමට මේක නියම වෙලාවක් නේද?

දැන් අවුරුදු 5ක් ගතවෙලා ඉවරයි. අපි මේ ලැබුණු අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගත්තා කියලා ඔබ හිතනවාද?

මට හිතෙන විදිහට අපිට වැරදුනේ ‘ලොකු පින්තූරය’ ගැන නිවැරදි අදහසක් තිබුණු නායකයෙක් නොහිටීම නිසයි. අවුරුදු 50ක අනාගතය ගැන හිතලා පාරවල් සැලසුම් කරනවා වෙනුවට තිබුණු පාරට අණ්ඩ දැමීමක් තමයි සිදු වුණේ. පුද්ගලික මට්ටමිනුත් මේක ශෝකාන්තයක් වෙන්න ගත්තා. අපේ මිනිස්සු තනියෙන් නැගිටින්න හදනවා වෙනුවට, සුද්දෝ හරි, අපේ අය හරි, කඳවුරට ගෙනත් දෙන අඩුම කුඩුම වලට වහ වැටිලා උදාසීන වුණා.

කොහොම හරි අපිට රටක් හැටියට නැගිටින්න තිබුණු අවස්ථාවක් නාස්ති වුණා කියලයි මට හිතෙන්නේ.

ගිය දේ ගියාවේ කියලා අපි ආයෙත් වර්තමානයට එමු. ඊයේ පෙරේදා ඉවරවුණු යුද්ධය ගැන කථා කරමු.

කන්කුණා ට හිතෙන්නේ ඒකත් සුනාමියක් වගේ. වසර 30 මුළුල්ලේ සිදුවුණු දේපල හානි හා ආර්ථික බලපෑම එකතු කළොත් සුනාමියට වඩා වැඩි ඇති. ජීවිත හානිත් එහෙම මයි. සමාජය හා මිනිස් සබඳතා මත ඇති කළ බලපෑම ඒ වගේ කීප ගුණයක්. මේ ලොකු කතන්දරය තුල හිරවෙලා ඉන්න පුංචි පුංචි ශෝකාන්ත එමටයි. දෙපැත්තෙම.

කොහොම හරි, හරි කෙනා හරි වෙලාවට හරි තැන හිටලා, මේ සුනාමියෙන් මිදෙන්න අපේ රටට වාසනාව තිබුනා. අපි මහපාරේ කිරිබත් ඉව්වා. දන්සැල් දුන්නා. නමුත් අහිංසක දෙමළ මනුස්සයෙකුට කරදර කලේ නැහැ. ඒකත් ජයග්‍රහණයක්. ඊට පස්සේ ලොකු ලොකු රටවල් එකතු වෙලා අපිට බ්‍රහ්මදණ්ඩය පනවන්න යනකොට ඒකෙන් බේරෙන්නත් අපිට හැකියාව තිබුනා. තවත් ආඩම්බරයි.

නමුත් මේක කතාවේ අවසානයද? නැහැ. රට ගොඩ දාන්න ලැබුණු තවත් එක අවස්ථාවක් විතරයි. අපිට ඕනේ දීර්ඝ කාලීන සැලැස්මක් සහ කැපවීමක්. අපිට ලැබුණු මේ අවස්ථාව අපතේ යා නොදී රටේ දියුණුවට යොදවන කණ්ඩායමක්. යලිත් වරක් අපි වලට වැටුණොත් ඉතින් වලේ ම තමයි.

ඔන්න ඔය අස්සේ ඉතින් මැතිවරණයකුත් ආවා. දොවා ගත් කිරි කළයට දැන් දෙපැත්තෙන්ම තරඟෙට අසූචි මුසුකරනවා. දීර්ඝ කාලීන සැලසුම් සාමදානයේ සැතපෙනවා. කැරට් සහ වරදාන එහෙනුත් මෙහෙනුත් දික් කරනවා. අපිත් ඉතින් මේවා මැජික් වගේ බලා ඉන්නවා. අපේ රටේ යහපැවැත්ම ගැන අවංකවම උනන්දු වන අන්තර් ජාතික ප්‍රජාවේ මහත්වරුත් පරදුක්ඛ දුක්ඛිත සෙයියාවෙන් බලා ඉන්නවා.

මේ කානිවල් ඉවර වෙන කොට රටට මොනවා වෙලා තියෙයි ද? සුදුස්සාට සුදුසු තැන ලැබෙයි ද? අනුන්ගේ පදයට නොනටා අපිට සුදුසු දේ තීරණය කළ හැකි රජයක් අපිට ලැබෙයි ද?

නොඇලී බලා සිටින්නෙකුට නම් මේක බොහොම විනෝදජනක නාට්‍යයක් වගේ පෙනෙයි. ඒත් මේක මගේ රට. ඒක නිසා මට නම් බයයි. ගිය හකුර ගියා. තියෙන හකුරත් අපි පූජා කරයිද?

Advertisements

Responses

  1. Ithama hondin liyala thiyanawa…. eka deyak arenna anith hamadema ekka mama ekangay… liyala thiyana baswaharath akarshaneeyay..

    sunamiya welawe LTTE durwala wela nisa lesiyen parada karanna thibba kiyana eka hari wenna puluwan…. namuth ewani winashayakin passe eka prayojanayata aran yuddayak salasum karana eka karanna beri deyak neda? api nominisun ganata watenawa neda?

    rate warthamana deshapalana thathwaya oba kiyanawa wagema pissuwak.. ratata wana kisima yahapathak ne…. welawakata hithenawa hama nayakayama hithanne thamange awurudu 6 kaala seemawa gana witharay… e kale goda gahaganna eka ganay hithanne.. e nisa janadhipathi kenekge sewakalaya awurudu 30 wath karanna one… ethakota chanda aduy… e wagema karana deyak duradiga balala karay…. ehema weyda? 🙂

    • NoWayOut සොහොයුරා මේ පැත්තේ ආපු එක ගැන සතුටුයි. විශේෂයෙන් ම එලියට එන්න මඟක් නැතුව තියෙද්දිත්. 🙂

      මම අදහස් කලේ සුනාමිය ආපු ගමන් හමුදාව උතුරට ගිහින් පහර දෙන්න තිබුනා කියන එක නෙමෙයි. ඔවුන්ට ලබා දීලා තිබුනු “තැන” නැති කල යුතුව තිබුනා කියලයි. ඉන්දුනීසියාවේ කලා වගේ. නමුත් එවක සිටි නායකයන් කලේ ඔවුන්ට නැති තත්වයක් ලබා දීපු එකයි. විදේශ ආයතන හා තානාපතීන්ට කෙලින්ම කොටි සමග සාකච්ඡා කරන්න දුන්නා. දේශ සීමා ලකුණු කරමින්, සුනාමි සහන මණ්ඩලයක් පිහිටුවමින්, ඔවුන්ට යලිත් කාඩරයන් බඳවා ගැනීමට, සන්නද්ධ වීමට ඉඩ ලබා දෙමින්, අලුතින් අවි ආයුධ ලබා ගැනීම සඳහා විදේශයන්ට යාමට දොර විවර කරමින්, ඔවුන් හැසිරුනේ මිතුරෙකුට කරදරයක් වූ විට වගෙයි. එය කිසි සේත් නොවිය යුතු දෙයක් කියලයි මම හිතන්නේ.

  2. සුනාමිය නිසා අපිට ලැබුන අවස්ථා වෙන් විතරක් නෙවේ, යුද්ධය නිසා අපිට ලැබුන අවස්ථාවෙනුත් අපි හරි දේ ලබාගත්තෙ නැහැ කියලයි මට හිතෙන්නෙ..අපිට ඉතින් දීර්ඝ කාලීන සැලසුම් නම් කවදත් තිබුනෙ නැහැනෙ..තිබුනෙ එදා වේල සරිකර ගැනීමක් පමනයි දෙවැනි අවස්ථාවෙත් අන්තිම නිමේශය මේ [මේ මගේහැගීම]තියෙන හකුර රැක ගනීද??? කියන්න තාමත් කල් වේලා වැඩී කානිවල් ඉවර උන ගමන්ම නෙ අපිට තියන්නෙ බලාගෙන ඉන්න විතරයි.
    මට විශේශයෙන්ම කියන්න ඕනේ උනේ අපේ රටේ යහ පැවැත්ම ගැන අවංකවම නම් ඔය සුදු මහත්වරු උනන්දු නැහැ..අනික ඔවුන් පරදුක්ඛ දුක්ඛිතව නිකං බලාගෙන ඉන්නවා නෙවේ.උණුසුම් සුබපැතුම යට තියන කුහක කම නිවැරදිව හදුනා ගැනීමට හැකිවේවායි..!!! පතනු හැර එතන දීත් අපිට කල හැකි දෙයක් නැහැ…!!!! මොකද ..??ඔවුන් ඉතාමත්මහොදින්.සිදුවෙන සියල්ලක්ම ගැන දැනුවත්..!!!
    ඇත්තටම මේක..මගෙත් රට. ඔබේ බිය ගොඩක් දෙනාට දැනෙනව..නමුත් දැන් ඔවුන් ගෙන් වැඩි දෙනෙක් මන්දෝත්සාහී වෙලා.. ඒකත් ඇත්ත…
    පලමු ලිපියම මෙවැන්නක් වීම ගැන සතුටුයි..!!මාසෙකට පස්සෙ මෙහි ප්‍රායෝගිකත්වය..තවත්..ගොඩක් වැඩි වෙලා..බව ඔබටමදැනෙනව ඇති..
    ලිපිය සාර්ථක බව මගේ හැගීමයි..දිගටම ලියන්න දිරිය…!!ශක්තිය..ලැබේවායි පතමි..!!

  3. ස්තුතියි.

    ඔබ කිව්වා වගේ අද වෙනකොට මේ නගා ඇති ප්‍රශ්ණය වඩාත් කාලෝචිතයි තමයි. මෙයට දෙන්න නිවැරදි පිලිතුරක් දැනගෙන හිටියානම්, යා යුතු මඟ කුමක්දැයි නිවැරදිව පුරෝකථනය කරන්න හැකියාවක් තිබුණා නම් කියලා මට යලි යලිත් හිතෙනවා.

    අන්තර්ජාතික ප්‍රජාව ගැන නම් මම ලියුවේ වචනාර්ථයෙන් නෙවෙයි. ඒක වරදවා වටහා ගන්න එපා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

ප්‍රවර්ග

%d bloggers like this: