Posted by: kankuna | දෙසැම්බර් 27, 2009

කනේ ගෝනා ගියාද?

කන්කුණා ට අද කණක් ගැන කතා කරන්නට සිතිනි.


මෙයට හේතු වූයේ සති කිහිපයකට පෙර කන්කුණාගේ ඥාතිවරියක කළ පැමිණිල්ලකි. ඇය පැවසුවේ හදිසියේම ඇයගේ එක් කණක් තුල තද සුලඟක් හැමීමට පටන් ගත් බවය.විමතියට පත් වූ කන්කුණා ඇයගේ කණ පරීක්ෂා කළ විට දකින්නට ලැබුනේ කන් බෙරය මත කඩිනමින් ඔබ මොබ යන කූඹියෙකි!

මිනිස් කණක් තුලට රිංගා ගත් පළමු කෘමියා ඒ කූඹියා නොවේ. වෛද්‍ය විද්‍යාව පිලිබඳ දැනට සොයාගෙන ඇති පළමු ලියවිල්ල වන ‘එබර්ස් පැපිරස්’ හි පවා කණ් වලට රිංගා ගත් කෘමීන් පිළිබඳව සඳහන් ව තිබේ. සැකකරුවන් හට වධ දීම සඳහා ද කන් තුලට කඩි හෝ නයිකූඹි ඇතුල් කර තිබේ. ඒ ‘ධර්මචක්‍රය’ සොයා ගැනීමට පෙරාතුව ය.

කන් වලට රිංගන්නේ කූඹින් පමණක් ද නොවේ. කන්කුණා ට කන් තුලදී හමු වී ඇති සතුන් අතර, මීමැස්සන්, කැරපොත්තන්, රෙදි කාවන්, මෙරුන්, කූඩැල්ලන්, කිනිතුල්ලන් සහ බලු මැක්කන් ද වූහ. එමෙන්ම කන්කුණාගේ මිත්තණිය තම ඇණවීම් නොතකන කුඩාවුන් හට ‘උඹේ කණේ ගෝනා ගිහිල්ලා ද?’ යැයි බැණ වැදීමට පුරුදුව සිටි හෙයින්, ගෝනුන් මුවන් වැනි සතුන් පවා කන් වල රිංගන බව ඔහු තරයේ විශ්වාස කරයි.

කෙසේ හෝ වේවා, කණ තුලට සතෙකු රිංගා ගත් බව දැන ගන්නේ කෙසේද? සතා ලොකු නම්, සහ ඔබ සිටියේ අවදියෙන් නම් මෙය අපහසු නැත. නමුත් බොහෝ අවස්ථා වලදී මේ කරුණු දෙකම හෝ එකක් සම්පූර්ණ නොවන බැවින්, සතා හමුවන්නේ කණේ වේදනාවක් පිලිබඳව වෛද්‍යවරයෙකු හමු වූ විටකදීය. කිනිතුල්ලන් මෙයට හොඳම උදාහරණයයි. කැරපොත්තෙකු වැනි ලොකු සතෙකු කණට අතුල් වී දැඟලීමට පටන් ගැනීම කෙනෙකුට ඇතිවිය හැකි ඉතාම අසහනකාරි තත්වයකි. ඒ නිසා, එවන් අවස්ථාවකදි කුමක් කළ යුතුදැයි දැන සිටීම වටී.

කන්හැඳි, යතුරු, කටු, නියන් යනාදී මෙකී නොකී ආයුධ ආම්පන්න භාවිතා කර කණට ගිය සතුන් ඉවත් කිරීමට යාම අසාර්ථක මෙන්ම භයානක ද වන නිසා, එයට තැත් නොකර සිටීම කල යුතු පළමු ප්‍රතිකර්මයයි. ඔබේ කණ රිදෙන්නේ සතා දඟලන නිසා ය. ඌ දඟලන්නේ පණ තිබෙන නිසාය. සතා අප්‍රාණික කළහොත් ප්‍රශ්ණය විසඳේ.

මෙය කල හැකි පහසුම ක්‍රමය කන් සිදුර තෙල් වලින් පිරවීමය. බොහෝ කෘමි සතුන් හට ජලයේ දියවී ඇති ඔක්සිජන් ද පාවිච්චි කිරීමේ හැකියාව ඇති නිසා වතුර දැමීමේ ප්‍රයෝජනය සීමාසහිත වේ. සීතල දෙයක් කණට වැටෙන විට කැරකිල්ලක් ඇතිවේ. එනිසා ශරීර උෂ්ණත්වය තෙක් රත් කරගත් තෙල් හැන්දක් සොයා ගත හැකි වුවහොත් ඔබ වාසනාවන්තය. අදාල කණ උඩට සිටින සේ නිදාගෙන, කණ තෙල් වලින් පුරවා, කෘමියාගේ සහ ඔබේ දැඟලීම නවතින තෙක් එලෙසම සිටින්න.

මංමුලා වූ කෘමියා මෙලෙස අජීවි කිරීමෙන් අනතුරුව කණෙන් එලියට ගැනීම ද ප්‍රශ්ණයකි. සිරින්ජයක් ආධාරයෙන් කණ සේදීම බොහෝ දෙනා මේ සඳහා උපයෝගී කරගන්නා ක්‍රමයයි. මා මුලින් පැවසූ ඥාතිවරියගේ කණේ සිටි කූඹියා එළියට ගත්තේ ද මෙලෙසිනි. කෘමියා ඔබගේ කන් බෙරය සිදුරු කර තිබීමේ අවදානමක් ඇති නිසා ගෙදරදී මෙය අත්හදා බැලීමට යාම කෙසේවත් ගුණදායක නැත.

නමුත් විශාල ප්‍රමාණයේ කෘමීන් මෙලෙස එළියට ඒමට සූදානම් නැත. ඔවුන් ඉවත් කිරීමට ENT ශල්‍ය අන්වීක්ෂයක සහ විශේෂිත උපකරණ වල පිහිට පැතිය යුතුය. අතිශය වේදනාත්මක අවස්ථා වලදී සිහි නැති කිරීමෙන් අනතුරුව මෙය සිදු කළ යුතු වේ. කුරුමිණියෙකුට කළ හැකි හරියක්! කිණිතුල්ලෝ මේ උගුලට අසු නොවෙති. උන් තෙල් දැමීමෙන් නොමැරෙන අතර, කනේ සම හෝ කන් බෙරය තදින් හපාගෙන සිටින නිසා ඒවාට හානි නොවෙන ලෙස ඉවත් කිරීමටද නොහැක. උන් ඉවත් කිරීමට නම් විශේෂ බෙහෙත් හෝ අන්වීක්ෂය අත්‍යාවශ්‍ය වේ.

කන් වල යන ගෝනුන් ඉවත් කිරීමේ ක්‍රමවේදය කන්කුණා තවම සොයාගෙන නැත. රජයේ කාර්යාල වලට යන වාරයක් වාරයක් පාසා ඔහුට සිතෙනුයේ මෙයට ක්‍රමයක් සොයාගැනීම අප හමුවේ ඇති විශාල අභියෝගයක් බවයි. මේ සම්බන්ධව ඔබගේ අදහස් හා යෝජනා වේ නම් කන්කුණා වෙත යොමු කරන්න.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

ප්‍රවර්ග

%d bloggers like this: