Posted by: kankuna | ජනවාරි 1, 2010

අවුරුද්දට ලෙඩුන්ට නිවාඩු නැද්ද?

කූඩැල්ලා මෙට්ටය උඩ තැබිය නොහැක්කා මෙන්, මෙතරම් කථා කළ හැකි දේවල් තිබියදීත්, කන්කුණාට මතක් වන්නේ රෝහල් ගැනමය. ජන්මයට වඩා පුරුද්ද ලොකු බව ඔහුට එවිට මැනවින් පසක් වේ.
අසනීප වීම කොහොමටත් කරදරයකි. රෝහල්ගත ව සිටීමට වීම විශාල කරදරයකි. උත්සව සමයක රෝහල් ගතව සිටීමට සිදු වේ නම්, එය කරුමයකි.

නමුත් උත්සව සමයන්හිදී ස්වෙච්ඡාවෙන් රෝහල් ගතවන්නේ කවුරුද?
කන්කුණාට ලංකාවේදී එවන් ජන කොට්ඨාශයක් හමුව තිබේ. ඒ සිඟන ජනයා ය. සිංහල අවුරුදු සමයේදී, බෙන්තර ගඟෙන් (හා කැලණි පාලමෙන්) එපිට උදවිය ගෙදර ගිය පසු කොළඹ හිස් වේ. සිඟමනක් ඉල්ලාගැනීමට යමෙකු සොයා ගත්තද, කෑමක් බීමක් ගැනීමට කඩයක් සොයා ගන්නට ද නැත. එනිසා ඔවුනට ඇති පහසුම මඟ වන්නේ කුමක් හෝ අසනීපයක් කියා රෝහල් ගතවීමය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු, ගිරිමානන්ද සූත්‍රයෙහි බුදුරදුන් දක්වා ඇති අන්දමට ‘කම්මවිපාකජා ආබාධා’ හෝ විසමපරිහාරජා ආබාධා’ වලින් පෙළෙන නිසා, ‘ඕපක්කමිකා ආබාධා’ හෙවත් බොරු ලෙඩ ගැනීමට සිදුවන්නේ එහෙමත් කෙනෙකුටය. අවුරුදු සමය වාට්ටුවේ ගතකරන මොවුහු නිවාඩු දින කිහිපය නිමවීමත් සමඟ පැදුරටත් නොකියා මාරු වෙති.

මොවුන්ගේ පැමිණීම නුරුස්සන ඇතැම් රෝහල් සේවකයන් කිසිදු හිංසාවක් පීඩාවක් සිත් රිදවීමක් නොකර ඔවුන්ගෙන් ගැලවීමට සොයාගත් අපූරු ක්‍රමයක් ද වේ. එනම් පවිත්‍රකරණයයි. වාට්ටුවට ඇතුලත් වූ විගස හොඳ බත් පතක් බෙදා අතටම ලබා දී, එය නිමවූ පසු නානකාමරය වෙත ඔවුන් රැගෙන යනු ලබයි. එහිදී මැනැවින් නහවා, කෙස් රැවුළු බා, පිරිසිදු ඇඳුමක් අන්දවා පිටතට පැමිණෙන මොවුන් සිඟන්නන්දැයි අනුමාන කිරීමට වත් නොහැකිය. තම ජීවිකාවෘත්තිය රඳා පවතින බාහිර ස්වරූපය මෙලෙස වෙනස් කිරීම පිලිබඳව ඔවුහු කිසිසේත් කැමති නොවන නිසා, කොළඹ ජාතික රෝහලේ ඇතැම් වාට්ටු වලට ඇතුල්වීමේ පත් ලියා දුන්නද, සිඟන්නන් ඒ පැත්තටවත් නොගිය බව කන්කුණාට මතකය. තවමත් තත්වය එසේමදැයි කන්කුණා නොදනී.

ඔවුන් හැරුණුකොට ලංකාවේ අනෙකුත් රෝගී ජනයා තැත් කරන්නේ කෙසේ හෝ උත්සව සමය පවුලේ සාමාජිකයන් අතර සිටීමටය. තමන්ගේ සුවපහසුවට අමතරව, අනුන් හට වදයක් වීමෙන් වැළකීමේ අදහස ද මෙයට බලපායි. සිය ඥාතියෙකු රෝහලේ සිටීනම්, බස් රිය දුම් රිය හිඟය නොතකා කෙසේ හෝ දිනකට දෙවරක් ආහාරපාන ද රැගෙන රෝහලට පැමිණීම අපි යුතුකමක් ලෙස සලකමු. වරක් අවුරුදු සමයේදී කන්කුණාට රෝහල්ගතවන්නට සිදුවිය. කෙසේ හෝ ටිකට් කප්පවාගෙන නොනගතයේදීම ඔහු නිවෙසට ගියත්, ඒ වග නොදත් ඔහුගේ මිතුරෙකු නැකත් හමාර වූ වහාම කැවුම් කෙසෙල් ද රැගෙන රෝහලට පැමිණියේය. එදා සිට අද දක්වාම ඒ පිලිබඳව ඔහු කන්කුණාට බැනවදින නමුත්, නෑයෙකු වන් එවන් මිතුරෙකු සිටීම ගැන කන්කුණාට නම් බොහෝ සතුටු ය.

එක්සත් රාජධානියේ වයස්ගත රෝගී ජනයා ද උත්සව සමය රෝහලේ ගත කිරීම අප්‍රිය කරති. නමුත් ඒ අනුන්ට කරදරයක් වන නිසා නම් නොවේ. මන්ද කිසිවෙකු ඔවුන් පිලිබඳ කරදර නොවන හෙයිනි. ඔවුන් එවන් දේ අපේක්ෂා කරන්නේ ද නැත. ලංකාවේ මෙන් බඩේ බැඳගෙන ළමයින් හැදීමක් නැති මෙහි, හිසේ තියාගෙන දෙමාපියන්ට සැලකීමක් ද නැත. වයස 16 යන විට ළමයින් රජයට භාර දී නිවසින් එලියට දමන දෙමාපියෝ ඉන් පසු තමන් වයස්ගත වු පසු නේවාසික ස්ථානයකට යාම සඳහා මුදල් ඉතිරි කරති. නමුත් වසරකට වරක් හෝ තම දරුවන් පැමිණෙන විට රෝහලේ සිටීමට ඔවුන් කැමති නැත. ගෙදර යාමට තැත් කරන්නේ එනිසා ය. ලංකාවේදී මෙන්ම මෙහිදී ද රෝහල් කාර්යමණ්ඩලය තැත් කරන්නේ ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබා දීමටය.

රෝගින්ගෙන් හිස් වුණු රෝහල මහත් පාලු ගතියක් උසුලයි. නිකම් සිටීමෙන් හෙම්බත් වුණු කන්කුණාට සිතෙන්නේ, ලංකාවෙන් සිඟන්නන් කිහිපදෙනෙකු ආනයනය කල යුතු බවය. එවිට ඔවුන් හෝ රෝහලේ සිටිනු ඇත.

Advertisements

Responses

  1. ඔයත් නර්ස් කෙනෙක්ද……?? නැත්නම්…..??

  2. නැහැ මම හෙදියක් නම් නොවෙයි. 🙂

  3. කණ්කුනා කියන එකේ තේරුම මොකද්ද?

    (කණ කුණු වෙලා කියන එකද? මම විහිලුවට මගේ අර්ථ දැක්වීම ලිව්වේ.. take it easy)

  4. අපේ එකනම් හැමදාම එකවගේ පිරිලා

    • ඔබේ රෝහල මොකක්ද? සමහර තැන් වල භූමි ලාභත් තියෙනවනෙ! අනික, ශල්‍ය අංශයෙ වැඩිපුර හිස් වෙනවා.

  5. ඔබගේ මෙම ලිපිය හෙට ලක්බිමේ තියෙනවා (17/01/2010)
    අපෙන් සුභ පැතුම්!!!!

  6. සුභ පැතුම්..දිගටම ලියන්න….!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

ප්‍රවර්ග

%d bloggers like this: