Posted by: kankuna | මාර්තු 30, 2010

“Come or go Chicago” සේවාස්ථ පුහුණුව

හුගිය කාලයේ කන්කුණා ජාලවංශය පෝෂණය නොකලේ ඔහුගේ ඉගෙනීමේ වැඩ නිසා මිස සුදු වෑන් උවදුරක් නිසා නොවෙන බව කියලා ම පටන් ගන්නම්.

කන්කුණා මේ කතාකරන්න යන සේවාස්ථ පුහුණුව ඔහුගේ රැකියාව සම්බන්ධ එකක් නම් නොවෙයි. ඒ පුහුණුවට පෙර නම් වසර ගණනාවක් ඔහුට කල නොකල යුතු දේ ගැන කියා දී තිබෙනවා. මේ කියන්නේ ලෝකාන්තයෙන් පැනලා මගදී පියාඹන්න ඉගෙනගන්නවා වගේ පුහුණුවක්.

ඒ තමයි පියෙකු ලෙස ඔහු ලබන පුහුණුව.

කන්කුණාට හිතෙන්නේ ලෝකේ තියෙන භාරදූර ම රැකියාව කරන්නේ දෙමව්පියන් කියලා. තමන් හැර වෙන හව්හරණක් නැති මනුෂ්‍ය ප්‍රාණියෙක්, මැටි පිඬක් වගේ එක එක විදියට හැඩ ගසන්න පුලුවන් චරිතයක්, ඔවුන්ට බාර දෙනවා. ඉන් පස්සේ ලෝකෙට වැඩක් ඇති, ස්වාධීන පුද්ගලයෙක් එයින් නිර්මාණය කර දෙන වගකීම ඔවුන්ටයි. වැඩේ වැරදුනොත් බැනුම් අහන්නත් වෙනවා-විශේෂයෙන් මව්වරුන්ට.

මේ කාර්යය කිරීමේදී ප්‍රතිවිරෝධී දේවල් රැසක් කරන්න වෙනවා. උදාහරණයක් ගත්තොත්, ළමයෙකුට ආදරය කරන්න ඕනේ. හැබැයි ඔවුන් තුල විනය ගරුක බවක් සහ දෙමාපියන් පිලිබඳ ගෞරවයක් තබා ගන්නත් ඕනේ. ඔවුන්ට අත්වැලක් වන්න ඕනේ-හැබැයි ඔවුන් තුල ආත්ම විශ්වාසයක් ගොඩ නගන්නත් ඕනේ.

මේවා කොහොම කරන්නද කියලා කවුද දන්නේ! ටිකක් කල්පනා කරනකොට කන්කුණාට හොඳටම බයත් හිතෙනවා.

කන්කුණාගේ පුංචි කාලය මතක් කළොත්, ඔහුගේ පවුල විසුවේ මහ ගෙදරින් වැඩි ඈතක නොවෙන නිසා විස්තෘත පවුල සමඟ ඔහුට බොහෝ සබඳතා තිබුණා. එය දරුවෙකුට කොතරම් වැදගත් ද කියලා දැන් ඔහුට තේරෙනවා. ඔහුට සින්දු කියන්න, කැට ගහන්න, කාඩ් ගහන්න මාමා කෙනෙකුත්, විනය පාලක මාමා කෙනෙකුත්, හිටියා. දහමට ලැදි ආච්චි අම්මා වගේම, ප්‍රේමකතා ලෝලියෙකු වූ පුංචිඅම්මා කෙනෙකුත් හිටියා. ඔහුගේ පියා ගුරුවරයෙක්, සාහිත්‍ය හා සංගීත රසිකයෙක් වන විට, කාර්මිකයෙක් වන බාප්පා කෙනෙකුත්, වෙළන්දෙකු වන මාමා කෙනෙකුත්, ගොවියෙකු වන සීයා කෙනෙකුත් හිටියා. මොවුන් සියලු දෙනාගෙන් ම සුළු කොටසක් හෝ කන්කුණා තුල තැන්පත් වී තියෙනවා කියලා ඔහුට හිතෙනවා.

ඒ කාලේ එහෙමයි. චරිතයක එක් එක් පැතිකඩ වර්ධනය කරන්න එක් එක් පුද්ගලයන් හිටියා. දෙමාපියන් ට තිබුණේ ‘තත්ත්ව පාලක’ රාජකාරිය. ඒකත් අමාරුයි තමයි. ඒත් ආච්ච්, සීයා ගෙන් නිබඳවම ඔවුන්ට මඟ පෙන්වීම් ලැබුණා. නමුත් අද අපි විස්තෘත පවුලෙන් වෙන් වෙලා, එකිනෙකාගේ පුංචි කුටීර තුල තනි වෙලා. නෑදෑයන් දකින්නේ මාස කීපයකට, හෝ අවුරුද්දකට වරක් පමණයි. විශේෂඥ උපදෙස් ඇත්තෙත් නැහැ; අනිත් අයගෙන් දායකත්වයක් ඇත්තෙත් නැහැ; කරන්න ඕනෙ දෙයක් අපි දන්නෙත් නැහැ! ඒ මදිවට ළමයා තියන්න වෙන්නේ day care එකේ. ව්‍යාපාරයක් ලෙස දරුවන් බැලීම කරන අයෙක් එක්ක!

මම හිතන්නේ හුඟක් දෙමවුපියන් තමන් සතු වගකීමේ බරපතලකම හරි හැටි වටහාගෙන නැහැ. (එක අතකින් ඒක වාසියක්. මේ ගැන කල්පනා කළොත් මොළේ කුරුවල් වන නිසා.) ඊටත් වඩා බරපතල, කවුරු හෝ මේ ගැන වද වෙලා මොනවා කළ යුතුද කියලා හොයන්න පටන් ගත්තොත් හොයා ගන්න තැනකුත් නැහැ. අන්තර්ජාලයේ නොයෙක් අඩවි තියෙනවා තමයි. නමුත් ඒවායේ තියෙන දේවල් ගෙඩි පිටින් අපි කරන්න ගියොත්, අපේ කියා රැකගන්න හදන සංස්කෘතිය ඉවරයි.

අපේ රටේ ළමයින්ගේ කායික සෞඛ්‍යය නම් බොහෝ දියුණු වෙලා තියෙනවා. ළදරු මරණ අනුපාතය, උපතේදී අපේක්ෂිත ආයු කාලය බොහොම හොඳයි. (මේවා දියුණු වුණේ අවුරුදු 30-40 කට පෙර ගත්ත ක්‍රියාමාර්ග නිසා මිසක්, අපේ සෞඛ්‍ය ඇමැත්තාණන් වදාරන පරිදි එතුමාගේ පුණ්‍ය මහිමයෙන් නම් නෙවෙයි ) දැන් ඇවිල්ලා තියෙන්නේ ඔවුන්ගේ මානසික සහ සමාජයීය වර්ධනය ගැන උනන්දු විය යුතු කාලයයි. කන්කුණාට හිතෙන විදියට එහි පළමු පියවර විය යුත්තේ දෙමාපියන් එම පදවි ප්‍රාප්තියට සූදානම් කිරීමත්, ඉන් පසු ‘අලෙවියෙන් පසු සේවය’ක් ලබා දීමත්.

මේකට ඉහල තැනකින් දිරිමත් කිරීමක් අවශ්‍යයි. (කණගාටුයි, කෙටි කාලීන ප්‍රතිපල නැති නිසා ඊලඟ ඡන්දයට මේක පාවිච්චි කරන්න බැහැ) පොතේ ගුරුවරුන් හෝ කඳ ලංකාවේ – මොළය එංගලන්තයේ වර්ගයේ පණ්ඩිතයන් නොවන බුද්ධි මණ්ඩලයක් අවශ්‍යයි. ළමා මනෝ විද්‍යාඥයන් (ලංකාවේ මෙහෙම අය ඉන්නවාද කියලා කන්කුණා දන්නේ නැහැ) අවශ්‍යයි. ඉන් පසු ළමයින්ට සුදුසු දෙමාපියන් වෙන්න, සහ අපේ ළමයින් අපේ විදියට හදාගන්න උපදෙස් දෙන ක්‍රමවේදයක් අවශ්‍යයි.

එහෙම තිබුණා නම්, කන්කුණා වගේ ‘තලියේ කිඹුලන් දකින’ දෙමාපියන් අමතක කළත්, අමිල සඳරුවන්ලා කිහිප දෙනෙක් වත් බේරා ගන්න පුලුවන් වෙයි කියලා කන්කුණාට හිතෙනවා.

Advertisements

Responses

  1. නැවත පැමිණීම ගැන බොහොමත්ම සතුටුයි..!!
    මේ කියලා තියන දේවල් ඇත්ත තමයි..ඒත් ඉතින්..මේවා ක්‍රියාත්මක කරන්න පුලුවන් වෙයිද..?කියන එක නම් ලොකු ප්‍රශ්නයක්..
    රැකගෙන හිටපු දේවල් ටිකත් බිඳ වැටෙමින් යද්දී කොහොමද??
    ඉතාමත් ප්‍රවේශමෙන් බුද්ධිමත්ව ආරම්භ කල යුතු වගකීමක් අරඹන්නේ. අනිත් අතට අදාල අය මේ වගේ දේකට උත්සුක වේවිද කියන එකමත් ප්‍රශ්නයක්.
    මොකද? ඉතාමත් අවාසනාවන්ත ලෙස “අමිල සඳරුවන්” මිය ගිහින් තියද්දින් පවා අර අසරණ අනිත් පුංචි දරුවො හතර දෙනා තවමත් නීතියේ පිලිසරණ පතමින් ලතවෙනවා ඔවුන් මානසිකව කොයි තරම් පීඩාවකට පත්වී ඇතිද..?නීතිය දැන්වත් මේ වගේ අසරණයින්ට ඉක්මන් පිහිටක් ලබා නොදෙන්නේ ඇයි..???


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

ප්‍රවර්ග

%d bloggers like this: